ශීතකරණයට වැඩි විදුලිය ප්‍රමාණයක්!

ශීතකරණයක ක්‍රියාකාරීත්වය සඳහා සැලකිය යුතු මටට්ටමක විදුලිය ප්‍රමාණයක් වැයවන බව, ඒ ගැන කළ සොයා බැලීම්වලින් තහවුරුව ඇත. නිවසේ විදුලි බිලෙන් 15% ත් 20%ත් අතර වියදමක් වැය වන්නේ ශීතකරණය සඳහා බව බොහෝදෙනෙක් නොදනිති.

අතවශ්‍ය නොවන දේ රැකීම

විදුලි බිලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන් කෙරෙන්නේ ශීතකරණයට නිසා ඔබ ඊට සාපේක්ෂව උපරිම ප්‍රයෝජනයක් ශිතකරණයෙන් ලබාගත යුතුව ඇත. නිවෙස්වල ශීතකරණ තුළ සිසිල් වීම සඳහා තබා ඇති ද්‍රව්‍ය සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණවලින් අනාවරණය වී තිබෙන තත්ත්වය බෙහෙවින්ම කණගාටුදායක ය. ශීතකරණ ඇතුළත බොහෝවිට දැකිය හැකි වන්නේ බීම බෝතලයක්, වතුර බෝතල් කිහිපයක් සහ පළා මිටියක් වැනි අවශ්‍ය ම නොවන දෑ බව හෙළි වී තිබේ.

තැබිය යුතු ස්ථානය

විදුලි උදුන්, රේඩියේටර ආදී රත්වන උපකරණ ආසන්නයෙන් ශීතකරණය නොතබන්න. එමෙන්ම හිරු එළිය ඍජුව නොවැටෙන ස්ථානයක ශීතකරණය තැබීමටත් වග බලාගන්න.

තැබිය යුතු ආකාරය

නිවසේ ශීතකරණය තැබිය යුත්තේ, බිත්තිය සහ ශීතකරණයේ පිටුපස අතර අඟල් 10ක පරතරයක් හෝ එයට වඩා වැඩි පරතරයක් හෝ සිටින සේ ය. ශීතකරණයේ පසුපස, කන්ඩෙන්සර දඟර තිබෙනු ඔබට දැකිය හැකි ය. එම කන්ඩෙන්සර දඟර හා බිත්තිය අතර යට කී තරමේ ඉඩ ප්‍රමාණයක් නැත්නම් ශක්තිය අපතේ යන්නට පටන් ගනී. අනෙක් අතට, එම කන්ඩෙන්සර දඟර පිරිසිදු කිරීමත් ඉතා වැදගත් ය.

ගබඩාවක් නොවේ

ඇතැම් ගෘහණියන් ශීතකරණය භාවිතයට ගන්නේ බඩු ගබඩා කර තබන්නට ය. ඒ නිසා තැබිය යුතු දෑ මෙන්ම එහි නොතැබිය යුතු දෑ ද ශීතකරණයට පටවා තිබෙනු දකින්නට පුළුවන. ශීතකරණය ආහාර, බෙහෙත් ආදිය කල් තබාගැනීමට අවශ්‍ය පහළ උෂ්ණත්ව මට්ටම ලබාදෙන මෙවලමක් බව සැලකිල්ලට ගත යුතු ය.

උෂ්ණත්වය ගැන සැලකිලිමත් බව

ශීතකරණයේ ඇසිරිය යුත්තේ කාමර උෂ්ණත්වයේ පවතින ද්‍රව්‍යය ය. එතුළ තැබිය යුතු කිසිවක්, උණුවෙන් පවතී නම් එය කාමර උෂ්ණත්වය දක්වා සිසිල් කර ශීතකරණයේ ඇසිරීම සුදුසුම සහ නිවැරදිම පිළිවෙළ යි. ඉහළ උෂ්ණත්වයෙන් යුත් ආහාර, ශීතකරණයට දැමුවහොත් ශීතකරණය ඇතුළත උෂ්ණත්වය ඉහළ යයි. ශීතකරණයේ ඇති සෙසු ආහාර ද්‍රව්‍යවලටත් එම උෂ්ණත්ව වැඩිවීම බලපායි.

සිසිල් ගතිය කාන්දුවීම

ශීතකරණයේ දොර නිසියාකාරව වැසෙන්නේ නැත්නම් ශීතල බැහැරට කාන්දු වන්නට පටන් ගනී. ශීතකරණයේ දොර නිසියාකාරව වැසෙන්නේ, දොරෙහි ඇතුළු පැත්තේ ඇති රබර් බීඩිම පලුදු නොවී පවතින්නේ නම් පමණි. එම බීඩිම පලුදු වී ඇත්නම් ඉක්මනින්ම එය සකස් කර ගැනීමට පියවර ගත යුතු ය.

දොර නිතර නිතර ඇරීම

ශීතකරණයේ දොර අරින වාර ගණන වැඩි නම් ශීතකරණය ක්‍රියාත්මක වීමට වැඩිපුර බලශක්තිය අවශ්‍ය වේ. එම වාර ගණන සහ දොර ඇරගෙන සිටින කාලය අඩු කර ගත හැක්කේ ආහාර ද්‍රව්‍යය එතුළ නිසි පරිදි අසුරා ඇත්නම් පමණි. කුඩා දරුවන් ශීතකරණයේ දොර නිතර නිතර අරින්නට පෙළඹීම සාමන්‍යය දෙයකි. ඒවා මඟ හරවා ගන්නට ශීතකරණය යතුරු ලා වසා තබන්න.

ශීතකරණය තුළ බඩු ඇසිරීම

ශීතකරණයක් තුළ ආහාර ද්‍රව්‍යය ආදිය අසුරා තැබිය යුත්තේ නියමිත ස්ථානවල පමණි. එසේම තෙත සහිත ආහාර පොලිතින් උරවල බහා ඇසිරීමට සැලකිලිමත් විය යුතු ය. ආහාර එකිනෙකට තදබද නොවන සේ – එනම් ලිහිල්ව සිටින සේ අසුරා තැබීමටත් කල්පනාකාරී වන්න.

තදබදයක් වුවමණා නැත

ශීතකරණය තුළ ආහාර ද්‍රව්‍ය පිරී තිබිය යුතු ය. නමුත්, ශීතකරණයට දැරිය නොහැකි තරමේ ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක් එතුළ නොතිබිය යුතුයෙ. එසේම, ශීතකරණයේ බහා කල්තබා ගත යුතු ආහාර පානාදිය නොමැති අවස්ථාවලදී ශීතකරණය ක්‍රියා විරහිත කිරීම වැදගත්ය.

නඩත්තු කිරීම

ඉහළ කාර්යක්ෂමතාවයක් පවත්වා ගැනීමට නම් ශීතකරණය හොඳින් නඩත්තු කළයුතු ය. එහි කිසියම් අලුත්වැඩියා කටයුත්තක් ඇති බව දැනගත් විට එය සිදු නොකළ හොත් බලශක්තිය නාස්ති වේ. එසේම ශීතකරණය ඇතුළත නිසි ශීත මට්ටම පවත්වාගෙන යෑමත් බෙහෙවින්ම වැදගත් ය.

පැරණි ශීතකරණය ඉවත් කරන්න

වසර 10කටත් වඩා පැරණි ශීතකරණ භාවිතයේ ඇත්නම් එහි කර්යෂමතාව වෙත ඔබේ අවධානය යොමු විය යුතුය. එවැනි ශීතකරණ භාවිතයෙන් ඉවත් කර නව තාක්ෂණය සහිත ශීතකරණයක් පරිහරණය කිරීමට යොමු වීම නැණවත් පියවරකි. බලශක්ති කාර්යක්ෂමතාව සහිත ශීතකරණ පාවිච්චියට ගැනීමෙන් විදුලි බිල අඩු කර ගත හැක.

මංජුලා විජයරත්න