වැස්සත් සමග එන සෙම්ප්‍රතිශ්‍යාව හෙවත් හෙම්බිරිස්සාව යනු වෛරස මගින් බෝවන කරදරකාරී රෝගයකි. ශ්වසන පද්ධතියේ ඉහළ කොටස ආශ්‍රිත රෝගයක් වන අතර ප්‍රධාන වශයෙන් නාසයට බලපාන්නක් වේ. කැස්ස, උගුරේ අමාරුව, සොටු දියර ගැලීම, කිවිසුම් යාම, සහ දින 7 ත් 10 ත් අතර පවතින උණ ප්‍රධාන වශයෙන් පවතින්නා වූ රෝග ලක්ෂණ වේ. සමහර ලක්ෂණ සති 3 ක් පමණ පැවතීමට ඉඩ ඇත. වර්ග 200 කට අධික වෛරස ගණනාවක් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වන අතර ඒ අතුරින් බහුලම වර්ගය ලෙස rhinovirus දැකිය හැක.

සෙම්ප්‍රතිශ්‍යාව ප්‍රධාන වශයෙන් නාසය, උගුර (ග්‍රසනිකා ප්‍රදාහය), කෝටරක (කෝටරක ප්‍රදාහය) සහ කලාතුරකින් ඇතැම් විට ඇස් (අක්ෂි පටල ප්‍රදාහය හේතුවෙන්) යන ප්‍රදේශයන්ට බලපාන බව සොයාගෙන ඇත. රෝග ලක්ෂණ බොහෝ විට ඇති වන්නේ වෛරසයන් මගින් සිදු කරනු ලබන පටක විනාශ කිරීමේ ක්‍රියවලිය නිසා නොව ආසාදනවලට එරෙහිව ශරීරයේ සිදුවන ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය හේතුවෙනි.

දෑත් සෝදා පිරිසිදුව තබා ගැනීම සහ රෝග ලක්ෂණ පහල වූ විට මුහුණු ආවරණ පැලඳීම මගින් ප්‍රාරම්භක වශයෙන් රෝගය වළක්වා ගත හැක. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇතැම්විට නියුමෝනියාව (වෛරසයන් මගින් ඇති වන නියුමෝනියාව සහ බැක්ටීරියාවන් මගින් ඇති වන නියුමෝනියාව) දක්වා වර්ධනය විය හැක.

සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකර්මයක් නොමැති වුවත් ඉන් ඇතිවන රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇත. සෙම්ප්‍රතිශ්‍යාව යනු බෝවන රෝග අතරින් නිතර නිතර ඇති වන්නා වූ රෝගයකි. දළ වශයෙන් වැඩිහිටි පුද්ගලයෙක් වසරකට 2 – 3 වතාවක් ද කුඩා දරුවෙක් වසරකට 6 – 12 වතාවක් ද මෙයට ගොදුරු වීමේ ඉඩක් ඇත. පුරාතන කාලයේ පටන් මෙම ආසාදනයට මිනිසුන් ගොදුරැව ඇත.

මූලික රෝග ලක්ෂණ

මූලික රෝග ලක්ෂණ ලෙස කැස්ස, සොටු දියර ගැලීම, නාසික අවහිරය, උගුරේ අමාරැව ද ඇතැම්විට මාංශ පේශි වේදනාව, තෙහෙට්ටුව, හිසරදය සහ කෑම අරැචිය ද පෙන්නුම් කරයි. සෙම්ප්‍රතිශ්‍යාව සෑදුනු අවස්ථා ගත් විට ඉන් 40෴ක්ම උගුරේ අමාරුව ද 50෴ ක්ම කැස්ස ද ඉතිරියෙන් අඩකම මාංශ පේශි වේදනාව ද පෙන්නුම් කරයි. සාමාන්‍යයෙන් මෙම රෝගයේදී වැඩිහිටියන්ගෙන් උණ අමාරුවක් දක්නට නොලැබෙන නමුත් ළදරුවන් හා කුඩා දරුවන් තුළින් එවැන්නක් පෙන්නුම් කෙරේ. ඉන්ෆ්ලුවෙන්සා සමඟ සැසඳීමේදී මෘදු කැස්සක් පවතී. වැඩිහිටි පුද්ගලයකුට කැස්ස සමඟ උණ පෙන්නුම් කෙරේ නම් එය ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් වීමේ සම්භාවිතාව වැඩිය.

සෙම්ප්‍රතිශ්‍යාවේ මුල් අවදියේදී රෝගියාට තෙහෙට්ටුව, සීතල, හිසරදය, කිවිසුම් යාම සහ දින 2 ක් පමණ පවතින කැස්ස සහ සොටු දියර ගැලීම දක්නට ලැබේ. රෝගයට අනාවරණයෙන් පැය 16 ක් ඇතුළත රෝග ලක්ෂණ මතු වීම ඇරඹේ. සාමාන්‍යයෙන් මෙම රෝග ලක්ෂණ දවස් 7 ක් පමණ ගතවන විට නැති වී යන නමුත් ඇතැම් ඒවා සති 3 ක් පමණ ද පැවතිමේ හැකියාව ඇත. කැස්ස පවතින සාමාන්‍ය කාල පරාසය දින 18 ක් වන අතර සමහර අවස්ථාවන්හිදී සෙම්ප්‍රතිශ්‍යාව නිමා වී සති 8 ක් පමණ වන තෙක් කැස්ස පැවතිමේ හැකියාව ඇත.

බෝ වීම

කුඩා වාත අංශු මාර්ගයෙන්, ආසාදිත නාසික ස්‍රාවයන් ඍජු ස්පර්ශයෙන් හෝ රෝග වාහක ඕනෑම වස්තුවක් (fomites) ස්පර්ශයෙන් වයිරස මූලිකවම සම්ප්‍රේෂණයේ යෙදේ. වාත අංශු මාර්ගයෙන් රෝගය පැතිරීමට වඩා ස්පර්ශයෙන් රෝගය පැතිරීමේ ප්‍රවණතාවක් ඇත. මෙම වෛරසයන් යම්කිසි කාල පරාසයක් පරිසරයේ නොනැසී පවතින අතර (Rhinovirus පැය 18 කට වැඩි කාලයක්) මිනිස් අත්වල තැවරී ඇස් හෝ නාස් ප්‍රදේශයට යෑමේ හැකියාවක් ඇත. මෙම ආසාදනයන් පවුලේ අනෙකුත් සාමාජිකයන්ට ද බෝ වීමේ වැඩි ඉඩකඩක් ඇත. ළමුන් වැඩි පිරිසක් එකට ගැවසීම හා දුර්වල ස්වස්ථතාව හේතුවෙන් පාසැල් හා ළමුන් රැකබලා ගන්නා මධ්‍යස්ථානයන්හිදී සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි වේ. ඉන්පසු ඔවුන්ගේ නිවෙස්වල අනෙකුත් සාමාජිකයන්ට ද රෝගය සම්ප්‍රේෂණය විය හැක.

කාළගුණය

සාම්ප්‍රදායික ගැමි මතයට අනුව වැස්ස හෝ ශීත ඍතුව වැනි සීතල කාළගුණික තත්ත්වයන්ට නිරාවරණය වීම සෙම්ප්‍රතිශ්‍යාවට බලපාන ප්‍රධානම හේතුවයි. සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වන සමහර වෛයිරස ඍතුමය වශයෙන් හට ගන්නා අතර සීතල කාළගුණික තත්වයන්හිදී බහුල වේ. නමුත් ඍතුමය වශයෙන් හට ගැනීමට හේතුව නිශ්චිතවම සොයා ගෙන නැත. ඇතැම් විට සීත කාලයේ ශ්වසන පද්ධතියේ ඇති වන වෙනස්කම්, ප්‍රතිශක්තීකරණ දුර්වලතා, අඩු ආර්ද්‍රතාවය හේතුවෙන් වැඩි වන වෛරස සම්ප්‍රේෂණ සීග්‍රතාව සහ වියළි වාතය කුඩා වෛරස අංශුවල අපකිරණ හැකියාව වැඩි කිරීමෙන් ඒවාට වැඩි දුරකට සම්ප්‍රේෂණය වීමේ ප්‍රවණතාව ඍතුමය බලපෑමට හේතු විය හැක. වැඩි කාල වේලාවක් ගොඩනැගිලි තුළ සිටීම, ආසාදිත රෝගියෙක් අසල සිටීම (විශෙෂයෙන්ම පාසැල් ළමුන්) වැනි සමාජ සාධක මත ද රෝගය වැළඳීමට හැක. අඩු ශරීර උෂ්ණත්වය සෙම්ප්‍රතිශ්‍යාවට බලපාන අවදානම් සාධකයක් ද යන්න පිළිබඳව මත්භේදයක් පවතී. බහුතර මතය වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව ආසාදනය වීමේ නැඹුරුතාවට අඩු ශරීර උෂ්ණත්වය බලපාන බවයි.

වැළැක්වීම

සෙම්ප්‍රතිශ්‍යාව ව්‍යාප්තිය අඩු කිරීමට දෑත් සෝදා පිරිසිදුව තබා ගැනීම, රෝග ලක්ෂණ පහල වූ විට මුහුණු ආවරණ පැලඳීම සහ සෞඛ්‍ය මධ්‍යස්ථානයන්හි දී අත් වැසුම් පරිහරණය වැනි ක්‍රියාමාර්ගයන් වැදගත් වේ.

සෙම්ප්‍රතිශ්‍යාව යනු සියල්ලම පාහේ දන්නා රෝගයක් බැවිනුත් එහි රෝග ලක්ෂණ විශේෂී නොවීම හේතුවෙනුත් හුදෙකලාව සිටීම කළ නොහැක්කකි. උදා: කොරන්ටීන් (quarantine). සෙම්ප්‍රතිශ්‍යාවට එකිනෙකට වෙනස් වෛරස විශාල ප්‍රමාණයක් හේතු වන නිසාත් එම වෛරසයන් ඉතා වේගයෙන් වෙනස් වීම්වලට භාජනය වන බැවිනුත් එන්නත් කිරීම අමාරු කාර්යයක් බව සොයා ගෙන ඇත. සියල්ලන්ට ගැළපෙන අයුරින් වඩා ඵලදායී එන්නතක් නිෂ්පාදනය ඉතා අපහසු වේ.

– Web MD