මවුපියන් සහ දරුවන් අතර තිබෙන බැඳීම මේ ලෝකයේ තිබෙන අනෙක් සෑම බැඳීමකටම වඩා සුවිශේෂී ය. සෑම දරුවකුගේ ම අනාගතය යහපත් වීමට හෝ අයහපත් වීමට මවුපියන්ගෙන් දැඩි බලපෑමක් සිදු වේ. එනිසා මවුපියන් සිය දරුවන් පිළිබඳ දැඩි අවධාණයක් යොමු කළ යුතු ය. යහපත් මවුපියන් වීමට කළ යුතු දෑ පිළිබඳව ‘Parenting for Brain‘ වෙබ් අඩවියෙහි පසුගිය දා මේ කාරණා පෙළ පළ වී තිබිණ.

චරිතවත් වන්න

දරුවන්ට හොඳ නරක කියා දීමට පෙර මවුපියන් ගුණධර්ම සහ යහපත් ආකල්පවලින් පරිපූර්ණ විය යුතු ය. දරුවන් පළමුව අනුකරණය කරනු ලබන්නේ තම මවුපියන්ගේ පුරුදු නිසාවෙන් මවුපියන් නිරන්තරයෙන් ආදර්ශමත් විය යුතු ය. නැතිනම් දරුවන් කෙදිනක හෝ මාපියන්ගේ වැරදි දකින අතර ඒවා අනුකරණය කිරීම ද අනිවාර්ය ය.

දරුවන්ට ක්‍රියාවෙන් ආදරය කරන්න

දරුවන්ට අසීමිතව ආදරය කිරීමෙන් ඔවුන් යහපත් ලෙස සමාජයට අනුගත කළ හැක. දරුවන් සමඟ කාලය ගත කිරීම, වැළඳ ගැනීම වැනි දෑ තුළින් දරුවන් තුළ ඔක්සිටොසින්, ඔපියොයිඩ්ස් සහ ප්‍රෝලාක්ටින් වැනි යහ හෝමෝන නිකුත් වේ. එමඟින්දරුවන්ගේ චිත්‍තවේග පාලනය වීම සිදු වී තෘප්තිමත් හැඟීම් ඇති වේ. දරුවන්ට ප්‍රායෝගිකව ආදරය කිරීම ඔවුන්ගේ පෞරුෂයට විශේෂයෙන් බලපායි.

ධනාත්මකව කටයුතු කරන්න

ළමා කාලයේදී දරුවන්ට අභියෝගවලට මුහුණ දීමට ප්‍රමාණවත් දැනුමක් නැත. ජීවිතයේ දී මුහුණ දීමට සිදු වන අසතුටුදායී සිදුවීම්වලට නොබියව මුහුණ දීමට ඔවුන්ට කුඩා කල සිට ම කියා දිය යුතු ය. සතුටු අවස්ථාවලදී අධික ලෙස සතුටු නොවන්නත්, දුක්ඛදායී අවස්ථාවලදී දැඩි ලෙස දුක් නොවන්නත්, දරුවන්ට කියා දිය යුතු ය. එවැනි උපදෙස් පිළිපදින දරුවන් සමාජයට හිරිහැරයක් නොවන අතරම ගුණගරුක පුද්ගලයන් බවට පත් වේ.

දරුවන්ට ආරක්ෂාව සපයන්න

ළමා කාලයේදී දරුවන් නිරන්තරයෙන් ම මවුපියන්ගේ ආරක්ෂාව ඇතිව ජීවත්වේ. තමන්ගේ මවුපියන් තමන්ට උපරිම ආරක්ෂාව ලබා දෙනවාය යන හැඟීම දරුවා තුළ අනිවාර්යයෙන් ම ඇති විය යුතු ය. මාපිය දූදරු සබඳතා ශක්තිමත් වීමට සහ දෙපාර්ශ්වය අතර මනා විශ්වාසයක් ගොඩනැගීමට එය හේතු වේ. දරුවාගේ මානසික සෞඛ්‍ය යහපත් වීමට එය ඍජුව බලපායි.

කථාකර දරුවන්ගේ දැනුම වර්ධනය කරන්න

පෙර පාසලට යාමට පෙර පවුලේ සාමාජිකයින් ඇසුරේ සමාජානුයෝජනය වන දරුවා ඊටත් පෙර බොහෝ දෑ දැන ගන්නේ මාපිය ඇසුරෙනි. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ කරන ක්‍රියාකාරකම් සහ සමාජ ආශ්‍රය වැනි තොරතුරු කුඩා කල සිටම කියා දිය යුත්තේ මවුපියන් ය. දරුවන්ට සමීපව කරුණු කියා දීම දරුවන්ගේ පෞරුෂ වර්ධනයට සාධනීය ලෙස බලපායි.

තම ළමා කාලය පිළිබඳ දරුවාට පවසන්න

“අපිත් ළමා කාලය මේ අයුරින් ගත කළා” යන හැඟීමෙන් මවුපියන් හැසිරීම වැදගත් ය. ළමා කාලයේ අත්විඳි අත්දැකීම් තමන්ට හැකි පරිදි තම දරුවන්ට ලබා දීම අතිශය වැදගත් ය. මවුපියන් තමාගේ ළමාවිය අත්දැකීම් ලබා දීමෙන් දරුවා යම් චිත්ත වර්ධනයක් ලබයි. එය ඔවුන්ගේ යහ පැවැත්මට සකසා ගැනීමට හේතු විය හැක.

තමන්ගේ නිරෝගීකම කෙරෙහි අවධානය යොමු කරන්න

මවුපියන් කායිකව මෙන්ම මානසිකව නිරෝගී විය යුතු ය. දරුවන් නිරෝගීව සහ සතුටින් තැබීමට එය අත්‍යාවශ්‍ය ය. දරුවන් ඉදිරියේදී මවුපියන් සතුටින් සහ නීරෝගීව සිටීම තුළින් දරුවාගේ සතුට ද වර්ධනය වේ.

වැරැද්ද දුටු තැන කියා දෙන්න

දරුවන් අතින් වැරදි සිදුවීම සාමාන්‍ය දෙයකි. කුඩා කාලයේ සිටම දරුවන්ගේ වැරුද්දක් දුටු තැනදීම ඊට සුදුසු සුළු දඩුවමක් හෝ උපදෙසක් ලබා දීම නුවණට හුරු ය. එය නොසළකා හැරීමෙන් ඔවුන් යළි යළිත් එම වැරැද්ද සිදු කරයි. දරුවන් තමන් අසළට ගෙන කාරුණිකව හරි වැරැද්ද පෙන්වා දීම වඩා යහපත් වේ.

දරුවන් මවුපියන්ගේ ඉලක්කය කරගන්න

මවුපියන්ගේ ප්‍රධානතම ඉලක්කයන් විය යුත්තේ තමන්ගේ දරුවන් යහපත් ලෙස සමාජගත කිරීම ය. මවුපියන්ට වෙනත් ඉලක්ක කොතෙක් තිබුණ ද තමන්ගේ දරුවාගේ අනාගතය ශක්තිමත් කිරීමට මූලිකත්වය ලබා දිය යුතුය.

දරුවන් වෙනුවෙන් නවීන ක්‍රියාකාරකම්වලට අනුගත වන්න

දිනෙන් දින වෙනස් වන සමාජය තුළ මවුපියන් ද වෙනස් විය යුතු ය. වෙනස් වන ලෝකය සමඟ දරුවන් හදා වඩා ගැනීමේ දී නව ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු වේ. මන්ද මිනිස් හැසිරීම්, අධ්‍යාත්මික හා භෞතික වශයෙන් වෙනස් වී ඇති බැවිනි. දරුවන්ට ආහාර ලබා දීම, ඉගැන්වීම සහ අනෙකුත් ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය පිළිබඳව නව ක්‍රමවේද, පොතපත, පුවත්පත් සහ අන්තර්ජාලයේ නිතර යවත්කාලීන වේ. ඒවායේ වැදගත් දෑ තම දරුවාට හුරු කිරීමට මවුපිය අවධානය යොමු විය යුතුය.