සඳමාලි උදේ පාන්දර නැඟිට්ට හැටියේම දිව්වෙ මුළුතැන්ගෙයට. ඊට පස්සේ අතට ගත්තෙ කේතලය. ඒකට වතුර එකක් පුරවලා ගෑස් ළිප උඩ තියලා ඒක පත්තු කරලා තමයි ඇය දවසේ මෙහෙවර පටන් ගන්නේ.

එකපාරටම බෝම්බයක් පිපුරුණා වාගේ ශබ්දයක් පිටවෙනවාත් සමඟම ගිනිදැල්වලින් ඇයව වට කරගන්නවා විතරමයි මතක. සඳමාලි විතරක් නෙමෙයි ඈව බේරගන්න ගිය සැමියාටත් හොඳටම තුවාල වෙලා. 60%ට වැඩි ප්‍රමාණයක් පිලිස්සුම් තුවාල ලැබූ සඳමාලි රෝහලට රැගෙන එනවිටත් අධි අවදානම් තත්ත්වයේ පසුවුණා.

කාලය, ශ්‍රමය ඉතිරිකරන උපකරණයක් ලෙසින් වර්තමානයේ ගෑස් ළිපක් භාවිත නොකරන මුළුතැන්ගෙයක් සොයාගන්නටත් නොහැකියි. එබැවින් ගෑස් ළිප භාවිතය පිළිබඳ ඔබේ පවුලේ සාමාජිකයන් දැනුවත් කිරීම ඉතා වැදගත්.

1. අනතුරු හැඟවීම්වලට අවධානය යොමු කරන්න

* ගෑස් කාන්දුවීමේ දෝෂයක් ඇත්නම් වහාම සිලින්ඩරය විසන්ධි කරන්න. හැකි ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්වන්න.

* අව කහ පැහැති හෝ තැඹිලි පැහැති ගිනිදැල් (නිල් පැහැයට වඩා වෙනස්) පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න.

* ගෑස් කාන්දුවීම සුවඳින් ද හඳුනාගත හැකියි.

* ඔබට කරකැවිල්ල, හිසරදය සහ හුස්ම ගැනීමේ දුෂ්කරතාවක් ඇත්නම්, ඔබ නොදැනුවත්වම ගෑස් කාන්දුවීමක් ඇතැයි අනුමාන කළ හැකියි.

2. ඉක්මනින් ගෑස් කාන්දුවීම හඳුනාගන්න.

* සිලින්ඩරයේ හෝ මීටරයේ ගෑස් සවිකරන කරාමය වසන්න. මුළුතැන්ගෙයි දොරටු සහ ජනේල හොඳින් විවෘතකර පිටත වාතාශ්‍රය හැකිතරම් ගෙතුළට පැමිණීමට ඉඩ සලස්වන්න.

* ඉටිපන්දම්, දුම්වැටි, ගිනිකූරු භාවිතයෙන් වළකින්න.

* විශේෂයෙන්ම විදුලි බල්බ දැල්වීමෙන් වළකින්න.

* විදුලි උපකරණ ඇතුළු සියලුම උපකරණ නිවා දමන්න.

3.. ගෑස් උපකරණය මැනවින් පවත්වාගන්න.

* ගෑස් සිලින්ඩරය පිරිසුදුව තබාගන්න. ඒ මතට යම් යම් අපවිත්‍ර දෑ වැටීමෙන් වළකාගන්න. එය නිවැරැදිව භාවිත කිරීමේ උපදෙස් පිළිපදින්න. සිලින්ඩරය සෑමවිටම උඩුඅතට සිටුවා තබන්න.

* ගෑස් උඳුන භාව්තයේ දී උපදෙස් පිළිපදින්න. උපාංග අලුත් කිරීමට ඇත්දැයි නිතර සොයා බලන්න.

4. කුඩා දරුවන් ගෑස් උදුනෙන් ඈත්කර තබන්න.

* නිවෙසේ හෝ පිටත දී ගෑස් පයිප්පය හෝ සිලින්ඩරය වෙතින් දරුවන් ඈත්කර තබන්න.

* ගෑස් උඳුන අසල දරුවන් සැරිසරන්නේ නම් ඒ පිළිබඳ විමසිලිමත් වන්න. මන්ද ඔවුන් ඒ අසළට වී විවිධ ක්‍රියාකාරකම් කිරීමට සහ සෙල්ලම් කිරීමට පෙලඹේ. එමඟින් මෙම උපකරණවලට හානි සිදුවීමට ඉඩ ඇති අතර එය විශාල අනතුරකට හේතුවක් විය හැකියි.

ගෑස් උපකරණ භාවිතයේ දී වැදගත්වන තවත් කරුණු මෙන්ම හදිසි ගින්නක් හටගත් අවස්ථාවේදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳ ලබන සතියේ දී දැනගනිමු.

උපදෙස්

කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ

හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසාචම්පා වරුසප්පෙරුම